විශේෂ දහම් ලිපි

සිංහල ජාතිය සහ බුදු සසුණ

කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Anapanasathi Bhawanawa

ප්‍රශ්නය :-

ආක්‍රමණ සහ සතුරු ව්‍යාධි රාශියක්‌ මැද වසර දෙදහස්‌ පන්සියයකට වඩා ගමනක්‌ පැමිණි ජාතියේ කතාව හෙවත් මහාවංශය, මුල් පෙළ සහ එහි තේරුම සරල බසින් ජාතියට දායාද කිරීමට ඔබ වහන්සේ කටයුතු යොදා තිබෙනවා. බුද්ධ ධර්මය පිළිබඳව තව ධර්ම ග්‍රන්ථ විශාල සංඛ්‍යාවක්‌ සරල සිංහලට නඟන්නට ඉතිරිව තිබියදී ඔබ වහන්සේ විසින් මහාවංශය කියන ඉතිහාස ග්‍රන්ථය සඳහා මෙතරම් පරිශ්‍රමයක්‌ සහ ප්‍රමුඛත්වයක්‌ දරන්නේ ඇයි…?

පිළිතුර :-

බොහෝ සිංහල අය තමන් සිංහල වූවාට තමන්ගේ පරම්පරාව ගැන දන්නේ නැහැ. බෞද්ධ වුණාට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය දන්නේ නැහැ. යම් කෙනෙක්‌ තමන්ගේ පරපුරේ අභිමානය දන්නේ නැත්නම් ඒ අයට සහ ඒ ජාතියට පවතින්න පුළුවන් හැකියාව අඩුවෙනවා. ඊළඟට එවැනි පිරිස්‌ යම් ප්‍රශ්නයක්‌ ඇතිවුණාම, ඒ සඳහා දොස්‌ කියන්නේ තමන්ගේ ජාතියට.නැත්නම් තමන්ගේ ආගමට. සමහරු තමන්ගේ ආගම අත්හරිනවා. 

ඒ කියන්නේ සමහර දෙනා සිංහලයෙක්‌ වගේ හිටියට එයාගේ සිංහලකම නැහැ. සිංහල වේශයෙන් තමයි ඔවුන් ඉඳලා තියෙන්නේ. මේ සියලූ දේ වෙන්නේ සිංහලයා තමන් ගැන නොදන්නා නිසා. වෙන ජාතිකයෙක්‌ සිංහලයාට බණින, දොස්‌ කියනකොට හෝ විනාශයක්‌ කරන්න හදන කොට, මේ නොදන්නාකම නිසා එක්‌කෝ සද්ද නැතුව ඉන්නවා. නැත්නම් එක හරි… කියලා පැත්තකට වෙනවා., තමන්ගේ ජාතිය පිළිබඳව දැනුමක්‌ නැති නිසා ඒක නිවැරදි කරන්න දන්නේ නැහැ. මහාවංශය මම කියෙව්වේ, සරසවි අධ්‍යාපනය ලබන කාලයේ. එදා මට මහාවංශය ගැන පැහැදීමක්‌ ඇතිවුණාද ඒක වැඩි වුණා මිසක්‌ ඒ පැහැදීම නැතිවුණේ නැහැ. මේ පැහැදීම නිසා මම කල්පනා කළා මෙච්චර ශේ්‍රෂ්ඨ ග්‍රන්ථයක්‌ තවම සමාජ ගතවෙලා නැත්තේ ඇයි කියලා. පසු කාලයේදී මම මහාවංශයේ සංස්‌කරණ කිහිපයක්‌ කියෙව්වා. මමත් මගේ මට්‌ටමෙන් මේ සඳහා දායකත්වයක්‌ දිය යුතුයි කියලා මට කල්පනා වුණා.
අපි උසස්‌ පෙළ හෝ විශ්ව විද්‍යාලයේදී මේවා විචාරය කරන්න ඉගෙන ගත්තා මිසක්‌ එහි තිබෙන පාඩම ඉගෙන ගත්තේ නැහැ. ඒ ශාපය තමයි අද විඳින්නේ. මහාවංශයේ විජය කුමාරයාට, දුටුගැමුණු නරවිරයන්ට ගරහන්න ඉගෙන ගත්තා මිසක්‌ එතුමන්ලාගේ ශ්‍රේෂ්ඨත්වය කතා කරන්න කෙනෙක්‌ හිටියේ නැහැ. එහෙම වුණහම ජාතිය පිළිබද අභිමානය නැතිවෙලා යනවා. තමන්ගේ ජාතිය පිළිබඳව අභිමානයක්‌ නැති කෙනාට අනිත් ජාතියක්‌ ගැන තේරෙන්නේ නැහැ. ජාතියකට අදාළ වටිනාකම් ඉගෙන ගත් විට, ඒ ජාතිය බොහොම ඉක්‌මනින් නැඟී සිටිනවා. අඩුම ගානේ සිංහල අපේ රජ පරම්පරාව ගැනවත් අපේ ජාතිය දැනගත යුතුයි කියලා, හිතලා තමයි මම මේ මහාවංශය සරල සිංහලෙන් රචනා කළේ. ඒවගේම බුදුරජාණන් වහන්සේගේ පරපුර ගැන දැන ගන්න මහාවංශයෙන් පුළුවන්. බුදු දහමෙන් තමයි සිංහල ජාතිය පෝෂණය වුණේ. ඒ නිසා බුදු දහමෙන් තොරව සිංහල ජාතියට පැවැත්මක්‌ නැහැ. සිංහල ජාතියෙන් තොරව, මේ ලංකාවේ බුදු දහමට පැවැත්මක්‌ නැහැ. මේ කාරණය කලකෝලාහල කරලා අඳුරගන්න බැහැ. ඒක අඳුනාගන්න පුළුවන් මේ බුද්ධි මාර්ගයෙන්. එය නුවණැත්තන්ට ලබා දීමට තමයි, මම මහාවංශය මුල් පාලි පෙළ සහිතව ගාථාවෙන් ගාථාවට, සරල සිංහල බසට හැරෙව්වේ.
ඔබ සිංහලයෙක්‌ද ඔබ බෞද්ධයෙක්‌ද එහෙනම් කියවන්න මහාවංශය.

ප්‍රශ්නය :-
මේ මොහොතේ රටේ ජනතාව පෙළෙන ප්‍රශ්න බොහොමයි. ඒවා සඳහා බුදු දහමෙන් සිත් නිවාලන විසඳුම් දීමයි, ඔබවහන්සේලාගේ වගකීම විය යුත්තේ. එසේ තිබියදී මේ මහාවංශය සරල ලෙස ග්‍රන්ථගත කිරීමෙන් ජනතාවට ලැබෙන සේවය කුමක්‌ද…? සමහරවිට නැති ප්‍රශ්නත් මේකෙන් ඇතිවෙන්න පුළුවන් කියලා යමෙකුට චෝදනා කරන්න පුළුවන්…

පිළිතුර :-
මේ වෙලාවේ නෙමෙයි, මීට කලිනුයි මහාවංශය මේ රටේ ජනතාව කිය විය යුතුව තිබුණේ. ජනතාව ධාරණය කර ගත යුතුව තිබුණේ. එහෙම තිබුණා නම් තමන්ගේ උරුමය අභිමානය දන්නා මේ ජාතිය මේ තරම් ශෝචනීය තත්ත්වයකට ඇදවැටෙන්නේ නැහැ. මහාවංශය කියෙව්වා නම් මේ රට සෞභාග්‍යමත් කරන්නේ කොහොමද කියලා අපිට ඉගෙන ගන්න තිබුණා. මේ මහා වැව් අමුණු, මහ වෙහෙර විහාර, රුවන්වැලි සෑය හැදුණු හැටි අපිට ඉගෙන ගන්න තිබුණා. ඒ සමාජ, ආර්ථික, දේශපාලනික රටාව අපිට හදාරන්න පුළුවන්.

මේ ගැන ඇත්තටම බහුතර සාමාන්‍ය ජනතාව දැනුවත්. දේශපාලනඥයන් තමයි, මේ ගැන දැනුවත් නැත්තේ. ඒ අයනේ රටේ තීන්දු තීරණ ගන්නේ… පසුගිය දවසක අපේ මහමෙව්නාව මගින් සිදුකරන ශිෂ්‍යත්ව ප්‍රදානයක්‌ සඳහා දෙමළ ජාතික දරුවන් පනහක පිරිසක්‌ අපේ පොල්ගහවෙල මහමෙව්නාව අසපුවට එක්‌කගෙන ආවා. මෙතැන සිංහලයෝ විතරයි ඉන්නේ කියලා, ඒ ළමයි බැලුවා. ඒ දරුවන් විශාල අපහසුතාවකට පත්වුණා කියලා, පේන්න තිබුණා. අපිත් සමඟ මේ කර්තව්‍යයට දායක වුණ දුවක්‌ ඉන්නවා. ඇය දෙමළ දියණියක්‌. ඇය විසින් තමයි, මේ ළමයින් කැඳවාගෙන ආවේ. මොකක්‌ද මේ කළේ…? අපිව ගෙනල්ලා සිංහල අය අතරට දැම්මේ ඇයි…? කියලා ඒ දරුවෝ නොසන්සුන් වෙලා ඇයගෙන් අහලා තියෙනවා.

කාලයක්‌ තිස්‌සෙම දේශපාලනය විසින් මේ අයට සිංහලයන්ව අඳුරලා දීලා නැහැ. ඒ අය කියලා තිබ්බේ සිංහලයෝ දරුණු ජාතියක්‌ කියලා. එහෙම කියමින් තමයි, දෙමළ සමාජය සිංහලයන්ගෙන් වෙන් කරලා තිබ්බේ. අපේ ස්‌වාමින් වහන්සේලාට මේ දරුවන්ගේ නොසන්සුන් කම තේරිලා තියෙනවා. ඊට පස්‌සේ විහාරය පෙන්නලා, මේ දරුවන්ට හොඳට සංග්‍රහ කරලා තියෙනවා. ඊට පස්‌සේ, මේ දරුවෝ සන්සුන්ව, පැහැදීමකින් අපේ පිරිසත් සමඟ මිත්‍ර වුණා. මෙහෙ හරි හොඳයි කියලා, සිංහල මිනිස්‌සුන්ව සිතෙන් වැළඳගෙන තමයි, ඒ දරුවෝ එදා ගියේ. අපේ රටේ අනිකුත් ජනවර්ග සහ සිංහල අපව වෙන් කරලා තියෙන්නේ දේශපාලනය විසින්.

සිංහල ජාතියට ජාතිවාදය කියලා එකක්‌ පිහිටලා නැහැ. සමහර විට අද සිංහලයා වෙනත් ජාතිකයකුට බණියි. හෙට එයාට තමන්ගේ බත් එක වුණත් දෙයි. අනිත් ජනවර්ගවල පිරිස්‌ එහෙම නෙමෙයි. එයා සිංහලයා සමඟ වෛරය හිතේ තියාගෙන ඉන්නවා. අපේ දරුවන් පිරිසක්‌ යාපනයට ගියා. පන්සලක්‌ කිට්‌ටුව, වැට අයිනේ තිබ්බ, මල් ගස්‌වලින් මල් කඩන්න හදනකොට,දෙමළ ආච්චි කෙනෙක්‌ දුවගෙන ඇවිල්ලා අපි බුදු හාමුදුරුන්නට පුජා කරන්න මල් දෙන්නේ නැහැ කිව්වාලූ. බලන්න, ඒ සමාජවල සාමාන්යෙ මිනිස්‌සු කොච්චර නොමග ගිහිල්ලාද …? අපේ සමාජයේ මෙහෙම දෙයක්‌ වුණානම්, අනිකුත් ආගමිකයාට මල් කඩලා දෙන්නෙත් අපේ සිංහලයාමයි. සිංහලයාගේ ඒ ගතිය නැත්තේ බුදු දහම නිසා. සිංහල ජාතිය තුළ තියෙන මේ ශේෂ්ඨ ගුණාංග අපිට ඉස්‌මතු කර ගන්න විදිහක්‌ නැහැ.
1976 වර්ෂයේදී වඩුක්‌කොඩෙයි සම්මේලනය දී උතුරු සහ නැගෙනහිර දෙපළාතේ සියලු දෙමළ දේශපාලන සංවිධාන එකතු වී, උතුරු සහ නැගෙනහිර දෙපළාතෙ වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ පැවතෙන වෙනම දෙමළ රාජ්‍යයක්‌ තිබුණ බවට සම්මුතියකට එළඹුණා. මේ ව්‍යාජ ඉතිහාසය විසින් මේ රට යුද පිටියක්‌ බවට පත් කළා…
මේක තමයි ලොකුම ප්‍රශ්නය. යුද්දේ අපි ජයග්‍රහණය කළාට, මේ ප්‍රශ්නය අපිට විසඳගන්න බැරිවුණා. මේ රටේ සැබෑ ඉතිහාසයත් එක්‌ක මේ රටේ සියලූ දෙනා එකතු නොවුණොත්, මේක විසඳෙන්නේ නැති බව, මම ඒ කාලයේ සිටම ප්‍රකාශ කළ දෙයක්‌.

මේ සඳහා ප්‍රතිකාර නොකළොත් යළි යළිත් මේ ප්‍රශ්නය හට ගන්නවා. කාලයක්‌ තිස්‌සේ පටන් දෙමළ ජනතාවගේ ඔළුවට දාලා තියෙන මේ බොරුව දැන් ඔවුන්ගෙන් පිරිසක්‌ විශ්වාශ කරන්න පටන් අරගෙන තියෙනවා. ඔවුන් හිතාගෙන ඉන්නේ, කාලයක්‌ තිස්‌සේ මෙහි දෙමළ ජනතාව හිටියා… දෙමළ රජවරු හිටියා… ආදී වශයෙන් බොරු ඉතිහාසයක්‌. සිංහලයන් ඒකට බලහත්කාරයෙන් ඇවිල්ලා ඔවුන්ගේ ඒ නිජභූමිය අල්ලාගෙන සිටිනවා යෑයි ඔවුන් සිතනවා. මේ සඳහා පුරාවිද්‍යාත්මක හෝ ඓතිහාසික සාධක නැහැ. මේකත් රාමායනය වගේම මිථ්‍යාවක්‌. ඕකට විසඳුම තමයි මහාවංශය.

ප්‍රශ්නය :-

අද විශ්වවිද්‍යාලයන්හි උගන්වන ඉතිහාසයේදී හෝ ඉතිහාස පර්යේෂණවලදී සිදුකරන්නේ මහාවංශයට අභියෝග කිරීම. මෙවැනි ප්‍රවණතාවක්‌ මතුවීමට හේතු ඔබ වහන්සේ දකිනවාද…?

පිළිතුර :-
මහාවංශයේ මුලින් ම විස්‌තර වන්නේ ශාක්‍ය වංශය පිළිබඳ පරම්පරා කථාවයි. එහි ඔක්‌කාක රජ පරපුර පටන් ගන්නේ මහාසම්මත නමැති සම්භාවනීය රජ කෙනෙකුගෙන්. ඒ අනුව මහාවංශයෙහි බුදුරජාණන් වහන්සේ ගේ පරම්පරාව ගැනත් විජය රඡ්ජුරුවන් ගේ පරම්පරාවත් පෙන්වා දී තිබෙනවා. ඒ කියන්නේ බුදු සසුනෙහි ඉතිහාසයත් සිංහල රාජවංශයේ ඉතිහාසයත් කියන දෙකම මහාවංශය කියවගෙන යන විට, දකුණු ඉන්දියාවෙන් වරින්වර පැමිණි ආක්‍රමණයෙන් සිංහලයා ගේ අභිවෘද්ධියට බලවත් ලෙස හානි පමුණුවා ඇති ආකාරය පේනවා.

දොළොස්‌වන සියවසෙහි කාලිංගමාඝ නමැති බ්‍රාහ්මණවංශික මන්තරකාරධාරී රඡ්ජුරුවන් ගේ ආක්‍රමණයෙන්, ඔහු යටතට පත් සිංහල රටවැසියාත් බුදුදහමත් විසි එක්‌ අවුරුද්දක්‌ ම නැත්තට නැතිවෙන තුරු බැට කෑවා. එයින් පසු මේ දක්‌වාම සිංහලයන්ට පෙර අයුරින් නැඟී සිටින්ට හැකියාව ලැබුණේ නැහැ. පසුකාලීනව සිංහල රාජවංශයට බලපෑවේ උතුරු ඉන්දියානු බලය නොව දකුණු ඉන්දියාවේ හින්දු ආගමෙන් මෙහෙයවන ලද රජ පරම්පරාවල ආනුභාවයයි.
පහළොස්‌වැනි සියවසේ සිට දිගින් දිගට පැමිණි යුරෝපීය ආක්‍රමණ නිසා සිංහලයා තවත් බෙලහීන බවට පත්වුණා. අන්තිමේදී සිංහල රාජපරම්පරාව ගතිගුණවලිනුත් හොඳටම දුර්වල වුණා. එකිනෙකා කුලල් කා ගත්තා. ඉංග්‍රීසීන් යටතට මේ රට පත්වුණා. ශ්‍රී වික්‍රම රාජසිංහ රඡ්ජුරුවන් ජීවග්‍රහයෙන් අල්ලාගත් පසු එවකට ආණ්‌ඩුකාරයාව සිටි රොබට්‌ බ්‍රවුන්රිග් නමැත්තා ඒ අවස්‌ථාවේ ක්‍රියාකොට ඇති ආකාරය, මහාවංශයේ සිංහල අනුවාදයේ 584 වෙනි පිටුවේ සඳහන් වෙන්නේ මෙහෙමයි,
සිංහල රජු අල්ලාගන්නා ලදැයි යන ප්‍රවෘත්තිය ලැබෙන විට බ්‍රවුන්රිග් උතුමාණන් වහන්සේ යුද්ධ මුලදෑනින් ස්‌වල්ප දෙනකුත් සමඟ (1815) පෙබරවාරි මස දහනම වැනි දින රාත්‍රි භෝජනය අනුභව කරමින් සිටියේය. යථෝක්‌ත ආරංචිය ලැබුණු කෙණෙහි ම උතුමාණන් වහන්සේ මේසයෙන් නැඟිට සතුටු කඳුළු වගුරුවමින් එහි සිටි සියලු දෙනාට අතට අත දෙමින් යුරෝපීය ජාතීන් තුන් වර්ගයකට ශත වර්ෂ තුනක්‌ මුළුල්ලේ උත්සාහ කොටත් සාර්ථක කරගත නොහැකි කෘත්‍යයක්‌ අප විසින් අද ඉෂ්ට කරගන්නා ලද්දේය. ඒ සම්බන්ධව ආධාර කළා තමුන්නාන්සේලාට මාගේ අවංක ස්‌තුතිය ප්‍රධාන කරමැයි කීවේය කියලා.
එතකොට යුරෝපීය ජාතිකයන් ශත වර්ෂ තුනක්‌ මුළුල්ලේ උත්සාහ කොට තිබෙන්නේ කුමටද? සිංහල රාජවංශය නැති කිරීමට යි. බුදු සසුන නැති කිරීමට යි. ඔවුන් දිගින් දිගට ම තමන්ගේ උපායික මාර්ගයන් සිංහලයන් ලවා ම ක්‍රියාත්මක කොට දැන් ජාතියක්‌ ලෙස අපි අසීරු තත්ත්වයකට පත්ව සිටිනවා. අපේ රටේ සරසවි අධ්‍යාපනය තුළ සිදුකරන්නේ පවතින සම්ප්‍රදායට අභියෝග කිරීමයි. ඒ අය හිතන්නේ, එය තම විචාර බුද්ධියේ වර්ධනීය අවස්‌ථාවක්‌ බවයි.
එවැනි මතවාදවලින් තොරව, නිදහසේ මහාවංශය කියෙව්වොත් තේරුම් යනවා, ඒක කොයි තරම් සත්‍යය, අපක්‌ෂපාතී ග්‍රන්ථයක්‌ද කියලා. මේ ප්‍රහාරය එල්ල වෙන්නේ මහාවංශයට විතරයි. දෙමළ ඊළම වෙනුවෙන් ඒගොල්ලෝ කොයිතරම් මිථ්‍යාවක්‌ ගොඩනඟාගෙන ඉන්නවාද…? ඒකට කිසිම විවේචනයක්‌ ඔය ඉතිහාස අංශවලින් කෙරෙන්නේ නැහැ.
මහාවංශය මේ පවතින පුරාවිද්‍යාත්මක සාධක සමඟ සීයට සියයක්‌ම ගැලපෙනවා. මහාවංශයේ තියෙන කරුණු ඔස්‌සේ තමයි, ධර්මාශෝක රජතුමා පවා හඳුනාගන්නෙ.
මහාවංශය කියවනකොට පළමුවෙන්ම භක්‌තිය ඇතිවෙන්නේ එය ලියපු මහානාම හාමුදුරුවෝ ගැන. මහානාම හාමුදුරුවෝ කියන්නේ රජ පරම්පරාවක ඉපදී පැවිදි වූ චරිතයක්‌. මහානාම හාමුදුරුවෝ මේ පොත ලියලා තියෙන්නේ සතර අගතියෙන් තොරවයි. අනික මහාවංශය කියන්නේ සිංහල ජාතියේ සහ ලංකාවේ සම්බුද්ධ ශාසනයේ කතාව. ඒ විතරක්‌ නොවෙයි, එය සාහිත්‍ය අගයෙනුත් ඉහළ කෘතියක්‌.
පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

නවතම සදහම් ප්‍රකාශන

මහමෙව්නාව මාධ්‍ය ජාලය

අසපුවේ Facebook පිටුවට පිවිසෙන්න

Subscribe to Mahamevnawa Germany

Find us on Facebook