ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කථාව – මහාවංශය

/ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කථාව – මහාවංශය

(පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සරල සිංහලයට පරිවර්තනය කරන ලද ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කථාව වන මහාවංශය ග්‍රන්ථයෙහි ප්‍රස්ථාවනාව)

හාවංශය යන නම ඇසූ පමණින් බොහෝ දෙනෙක් සිතාගෙන සිටින්නේ එකල සිටි ශ්‍රී ලාංකික භික්ෂූන් විසින් ඉතා පක්ෂපාතීව මනඃකල්පිත අදහස් පුරවා ලියන ලද ව්‍යාජ ඉතිහාස කතාවක් බවයි. එයට හේතුව ඔවුන්ට මහාවංශය කියවන්ට අවස්ථාවක් නොලැබීම යි. නමුත් මහාවංශය යනු සෑම සිංහලයෙකු විසින් ම ත් සෑම බෞද්ධයෙකු විසින් ම ත් අනිවාර්යයෙන්ම කියවිය යුතු ඉතා ම වටිනා ග්‍රන්ථයකි. ඇත්තෙන්ම මහාවංශය කෙරෙහි තිබුනු ගෞරවය සිංහලයාගෙන් නැතිකොට තිබෙන්නේ විදේශ ආධිපත්‍යයේ ප්‍රතිඵලයක් ලෙසය. නමුත් හොඳ සිහි බුද්ධියකින් කියවන විට මහාවංශයේ වටිනාකම මිල කළ නොහැකි බව තේරුම් යනු ඇත.

මහාවංශය ඉගෙනීමේ දී එදා දඹදිව තිබූ පරිසරය ද තේරුම් ගෙන තිබීම ඉතා වැදගත් ය. අප භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩසිටින සමයේ දඹදිව මහජනයා ප්‍රධාන වර්ණ හෙවත් වංශ සතරකට බෙදී සිටියා. එනම්, ක්ෂත්‍රිය වංශය, බ්‍රාහ්මණ වංශය, වෛශ්‍ය වංශය සහ ශුද්‍ර වංශය වශයෙනි. මේ සතර වංශිකයන්ගෙන් දඹදිව භූමියේ ආධිපත්‍යය හිමිව තිබුනේ ක්ෂත්‍රිය වංශිකයන්ටයි. රාජවංශිකයන් ලෙස ඔවුන්ව හඳුන්වනවා. රජ බවට පත්වුනේ ඒ ක්ෂත්‍රිය වංශිකයන්ය. නමුත් ඒ ක්ෂත්‍රිය වංශික රජ පරපුරටත් අවශේෂ සමාජයටත් අනුශාසනා කරමින් මහත් බලපෑමක් කළ තවත් වංශයක් තිබුණා. ඒ බ්‍රාහ්මණ වංශය යි.

ක්ෂත්‍රිය වංශයත් බ්‍රාහ්මණ වංශයත් තම තමන් ගේ වංශ පරම්පරාව වෙනත් බාල වංශයකට මිශ්‍ර නොකොට පවත්වා ගන්ට මහත් සේ කැපවී තිබේත ඉතාමත් කල්පනාකාරී වී තිබේ. එයට ප්‍රධාන හේතු දෙකක් තිබුනා. එකක් නම් ඔවුන් සමාජ ආධිපත්‍යයේ කොටස්කරුවන් වීමයි. අනික නම් ඒ සමාජ ආධිපත්‍යයට විශේෂ සුදුසුකම වන තම වංශය කැලැල් නොවී පවිත්‍රව තබාගැනීම යි.

ඒ කාලයේ දඹදිව රජකළ සෑම කෙනෙක් ම අයිති වූයේ ක්ෂත්‍රිය වංශයට යි. නමුත් ක්ෂත්‍රිය කුමාරවරුන්ට ඉගැන්වූ ආචාර්යවරු වනාහී බ්‍රාහ්මණයෝ ය. රාජ්‍යාභිෂේකයේ දී පෙරමුණ ගෙන කටයුතු කළේත් බ්‍රාහ්මණයෝ ය. රජුන්ට අනුශාසනා කළ පුරෝහිතයන් වූයේත් බ්‍රාහ්මණයෝ ය. තුන්වෙනි වංශය වූ වෛශ්‍ය කුලයට අයත් උදවිය නොයෙක් වෙළහෙළඳාම් කිරීම් ආදියෙන් මහා ධනවතුන්ව සිටුවරුන්ව සිටියත් ඔවුන්ට තිබුනේ ඊට පහළ තැනකි. ශුද්‍ර වංශිකයන් යනුවෙන් සඳහන් වූයේ පාර අතුගෑම්, දර පැලීම්, වැසිකිළි පිරිසිදු කිරීම් ආදී කටයුත්තේ සිට දාසභාවයට අයිති ඕනෑම කටයුත්තක් කළ හැකි පිරිසයි.

ක්ෂත්‍රිය වංශිකයෝත් බ්‍රාහ්මණ වංශිකයෝත් තමන් ගේ වංශය ගැන මහත් අභිමානයෙන් කථා කොට තිබේ. වෙනත් වංශයක් සමග ආවාහ විවාහ ආදිය නොකර ගැනීමට ඔවුන් මහත්සේ සැළකිළිමත් වී තිබේ. තමන්ගේ වංශයේ පවිත්‍ර භාවය ගැන අභිමානයෙන් කතා කරද්දී විවාද රහිතව සියලු දෙනාම එයට හිස නමා තිබේ.

දීඝ නිකායෙහි සෝණදණ්ඩ සූත්‍රයේ සඳහන් මෙම සිද්ධිය දෙස බලන්න. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ මහත් සඟ පිරිසක් සමග අංග රටේ චාරිකාවේ වඩිද්දී චම්පා නුවරට වැඩම කළා. ඒ කාලයේ චම්පා නගරයේ සෝණදණ්ඩ නමින් මහත් සම්භාවනීය බ්‍රාහ්මණයෙක් වාසය කළා. ඔහුට බිම්බිසාර රජ්ජුරුවන් ගෙන් තෑග්ගක් වශයෙන් විශාල නින්දගමක් ලැබී තිබුනා. එයින් ලත් ආදායමෙන් ඔහු මහා ධනවතෙක් ව සිටියා.

එහිදී බුදුරජාණන් වහන්සේව බැහැදැක බණ ඇසීමේ ආශාවෙන් බ්‍රාහ්මණ වංශිකයන් ඇතුලු සියලු දෙනා ම පාහේ චම්පා නගරයේ ගර්ගරා පොකුණු තෙර දෙසට ගමන් කරමින් සිටියා. සෝණදණ්ඩ බ්‍රාහ්මණයාටත් භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්ට කැමැත්තක් ඇතිවුනා. ඒ වෙද්දි වෙනත් ඈත පළාතකින් පන්සියයක් බ්‍රාහ්මණවරු කිසියම් කටයුත්තකට චම්පා නගරයට ඇවිත් හිටියා. ඔවුන්ට සෝණදණ්ඩ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්ට සූදානම් වන බව ආරංචි වුනා. ඔවුන් වහාම සෝණදණ්ඩ බ්‍රාහ්මණයා සොයාගෙන ගියා. ගිහින් සෝණදණ්ඩ බ්‍රාහ්මණයා වැනි කෙනෙක් සංචාරක ශ්‍රමණයෙකු බැහැදකින්ට යෑම කිසිසේත් නුසුදුසු බව නොයෙක් ආකාරයෙන් කියා සිටියා. එයින් පළමුවෙනි එක මෙයයි.

“භවත් සෝණදණ්ඩයෝ මව් පාර්ශවයෙනුත් පිය පාර්ශවයෙනුත් යන මේ දෙපාර්ශවයෙන් ම ඉතා පිරිසිදු උපතක් ලැබූ කෙනෙක් නොවැ. ඔබගේ මව්පිය දෙදෙනා උපන් මව්කුස මීමුතු පරම්පරා සතක් වෙනකල් ම ඉතාමත් පිරිසිදුයි නොවැ. ලෝකයේ කව්රුවත් ඔබේ වංශය කිලුටුයි කියා බැහැර කරලා නෑ. මේ මේ වංශයන්ගෙන් තොපගේ වංශය අපවිත්‍රයි කියා නින්දා ලබලා නෑ”

ඉහත උපුටාගත් ප්‍රකාශය දෙස හොඳින් බලන්න. එතකොට බ්‍රාහ්මණවරු තමන් ගේ මව් පාර්ශවයේත් පිය පාර්ශවයේත් පවිත්‍ර භාවය ගැන තොරතුරු පරම්පරා සතක් ම ආපස්සට යනතුරු නම්ගොත් වශයෙන් ප්‍රසිද්ධියේ ඉහළින් කථා කොට තිබෙනවා. එසේ නොවුනා නම් මේ ආගන්තුක බ්‍රාහ්මණවරු සෝණදණ්ඩ ගේ සත්මුතු පරම්පරාව ගැන දන්නේ කොහොමද?

ඒ බ්‍රාහ්මණයන් ගේ කියමනට සෝණදණ්ඩ බ්‍රාහ්මණයා පිළිතුරු දුන්නේ මෙහෙමයි. “භවත්නි, එහෙනම් මං කියන දේත් අහගෙන ඉන්ට ඕනෑ. එතකොට තමුන්නාන්සේලාට වැටහේවි භවත් ගෞතමයන් වහන්සේව බැහැදැකීමට අපි ම යි යන්ට සුදුසු කියලා. භවත් ගෞතමයන් වහන්සේ වැනි කෙනෙක් අපිව දකින්ට වඩින එක නුසුදුසුයි කියලා.

භවත්නි, ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියලා කියන්නෙත් මව් පාර්ශවයෙනුත් පිය පාර්ශවයෙනුත් යන දෙපාර්ශවයෙන් ම ඉතා පිරිසිදු උපතක් ලැබූ කෙනෙක්. උන්වහන්සේ ගේ මව්පිය දෙදෙනා ගේ මව්කුසත් මීමුතු පරම්පරා සතක් යනකල් ම ඉතාමත් පිරිසිදුයි. ලොව කිසි කෙනෙක් ශාක්‍ය වංශය කිළුටුයි කියලා බැහැර කරලා නෑ. මේ මේ වංශයන්ගෙන් තොපගේ ශාක්‍ය වංශය අපවිත්‍රයි කියලා නින්දා ලබලා නෑ”

මෙම ප්‍රකාශය කරන සෝණදණ්ඩ බ්‍රාහ්මණයා එය කටට ආ පලියට කියන කථාවක් නොවෙයි. ඔහු ද මහා සම්භාවනීය බ්‍රාහ්මණයෙකි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ චම්පා නුවරට වැඩිය බව ඔහුට ආරංචි වුනහම ඔහු මුලින් ම සොයා තිබෙන්නේ භාග්‍යවතුන් වහන්සේ ගේ ශාක්‍ය රාජවංශයේ සත්මුතු පරම්පරාව ගැනය. එසේ නැතිව ආවාට ගියාට වෙනත් වංශයක පිරිසිදුකම ගැන ඔවුන් මේ අයුරින් කථා කරයිද?

මෙයින් පැහැදිලිව පෙනෙන්නේ එකල රජ පවුල් වලත් මේ පරම්පරා කථාව ඉතා පිරිසිදුව පවත්වාගෙන ඇවිත් තියෙන බවයි. ඒ ඔවුන් ගේ සමාජ තත්වය පිණිස ඇති ප්‍රධාන ම සහ එක ම සුදුසුකම නිසා ය. තමන් ගේ වංශ පරම්පරාවේ ආරම්භක පුරුෂයා කවුද යන කථාවත් ක්ෂත්‍රිය බ්‍රාහ්මණ කවුරුත් අනිවාර්යයෙන් ම දැනගෙන සිටිය යුත්තකි. ඒ ගැන හොඳ ම උදාහරණයක් දීඝ නිකායේ ම අම්බට්ඨ සූත්‍රයෙහි සඳහන් වෙනවා.

එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක සඟ පිරිසත් සමග චාරිකාවේ වඩිද්දි කොසොල් දනව්වේ ඉච්ඡානංගල නමැති බ්‍රාහ්මණ ගමටත් වැඩම කළා. ඒ කාලයේ ඒ අසළ වූ උක්කට්ඨා නගරයේ පොක්ඛරසාති නමින් සම්භාවනීය බ්‍රාහ්මණයෙක් වාසය කළා. ඔහු වාසය කළ ඒ උක්කට්ඨා නගරය නින්දගමක් වශයෙන් ඔහුට තෑගි ලැබුනේ කොසොල් රජ්ජුරුවන්ගෙනි.

ඒ පොක්ඛරසාති බ්‍රාහ්මණයා බ්‍රාහ්මණවංශික දරුවන්ට උගන්වනවා. ඔවුන් අතර දහසය හැවිරිදි ඉතාම දක්ෂ ශිෂ්‍යයෙක් අම්බට්ඨ නමින් සිටියා. ඔහුව අමතා පොක්ඛරසාති බ්‍රාහ්මණයා මෙහෙම කිව්වා. “පුත්‍රය, ලැබෙන ආරංචි අනුව ශ්‍රමණ ගෞතමයන් ශාක්‍ය රජපරපුරෙන් නික්මී පැවිදි වූ කෙනෙක් ලු. ඒ ශ්‍රමණ ගෞතමයෝ බුද්ධත්වය ලබා ඇති බව මේ හැම තැන ම කථා වෙනවා. ඔබ ගිහින් උන්වහන්සේ සැබෑවට ම බුද්ධත්වය ලැබූ කෙනෙක් ද නැද්ද කියා බලාගෙන එන්ට”

ඒ කාලයේ බ්‍රාහ්මණයන් හැමෝම මහාපුරුෂ ලක්ෂණ ශාස්ත්‍රය නමින් වෙනම විෂයකුත් ඉගෙන ගන්නවා. ඒ අනුවයි බුද්ධ කියා තමන්ව හඳුන්වන ශ්‍රමණ ගෞතමයන් ගැන හොයා බලන්ට කියා කිව්වේ.

අම්බට්ඨ මානවකයා දැඩි බ්‍රාහ්මණවාදියෙක්. ඔහු අපගේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහින් තුන් වතාවක් ම ශ්‍රමණ බවට ගර්හා කළා. ශාක්‍ය වංශයටත් ගර්හා කළා. ඒ අවස්ථාවේ ඔහු ගේ බ්‍රාහ්මණ වංශය අයත් වන කණ්හායන ගෝත්‍රයෙහි යටගියාව මතු කරලා ඒ ගෝත්‍රය ශාක්‍ය රජපවුලේ දාසියෙකුගේ කුසින් උපන් ‘කණ්හ’ නම් දරුවෙකුගෙන් පැවත එන බවට තොරතුරු භාග්‍යවතුන් වහන්සේ විසින් හෙළිදරව් කළා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මානවකයාගෙන් මෙසේ අසා වදාළා.

“අම්බට්ඨය, ඔබ වයෝවෘද්ධ වූ මහලු වූ ආචාර්ය ප්‍රාචාර්ය බ්‍රාහ්මණයන් ගෙන් තමන්ගේ කණ්හායන ගෝත්‍රය ආරම්භ වුනේ කොතැනින් කියලද අසා තිබෙන්නේ? ඒ කණ්හායන ගෝත්‍රය ආරම්භ කළ මුල් ම පුරුෂයා කවුද?”

එතැනදී අම්බට්ඨ මානවකයාට තමන්ගේ ගෝත්‍රය කණ්හ නමැති ඍෂිවරයාගෙන් ආරම්භ වූ බවට පිළිගන්ට සිද්ධ වුනා. ඒ අම්බට්ඨ සූත්‍රයේ සඳහන් පරිදි අපගේ භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨයාට මෙසේත් වදාළා.

“පෝරාණං ඛෝ පන තේ අම්බට්ඨ මාතාපෙත්තිකං නාම ගොත්තං අනුස්සරතෝ අය්‍යපුත්තා සක්‍යා භවන්ති. දාසිපුත්තෝ ත්වමසි සක්‍යානං. සක්‍යා ඛෝ පන අම්බට්ඨ රාජානං ඔක්කාකං පිතාමහං දහවති”

“අම්බට්ඨය, ඔබ ගේ පැරණි වූ මව්පියන් ගේ නාමගෝත්‍රයන් සිහි කරද්දී ස්වාමිවරු වශයෙන් ඉන්නේ ශාක්‍ය වංශිකයෝ ය. ඔබ අයිති වන්නේ ශාක්‍යවරුන් ගේ දාසි පුත්‍රයෙකුටයි. අම්බට්ඨය, ශාක්‍යවරු ඔක්කාක රජ්ජුරුවන්වයි ශාක්‍ය පරපුරේ ආරම්භක මුත්තණුවන් කොට සලකන්නේ”

එකල සමාජය තමන්ගේ වංශ පරම්පරාවේ පවිත්‍ර භාවය නොසිඳ පවත්වාගෙන ආ බවට ඔප්පු කරන්ට මෙයටත් වඩා සාක්ෂි කුමටද? මෙය එකල සමාජයේ තිබූ ස්වභාවයයි. ඒ ඒ වංශත් ඒ ඒ වංශයන්ට අනුව පැවරී තිබූ රාජකාරීත් අනුව හැඩගැසුනු සමාජයක එය පැහැදිලිව ම දකින්ට ලැබුනු අනිවාර්ය ලක්ෂණයකි. ක්ෂත්‍රියයෝත් බ්‍රාහ්මණයෝත් තම තමන්ගේ වංශ පරපුර පවිත්‍රව තබාගන්ට කොතරම් කැපවීමක් කරන්ට ඇත්දැයි මෙයින් අපට සිතාගත හැකිය.

දඹදිව රජපවුල් වල එබඳු පරිසරයක හැදී වැඩී සිටි කුමාරවරු මේ රටට ඇවිත් පදිංචි වී අලුත් ම ජන කොට්ඨාසයක් බිහි කළා. ඔවුන් හඳුන්වන්නේ සිංහල යන නාමයෙනි. ඔවුන්ද ඒ කාලයේ තමන්ගේ රටේ ක්ෂත්‍රිය පරම්පරාව පවත්වාගෙන ආ අයුරින් ම පවිත්‍ර වංශය පිළිබඳ කථාව මෙරටටත් ගෙන ආ බව පෙනේ. පෝරාණයන් යනුවෙන් සඳහන් වන්නේ ඒ රාජ වංශයේ පරම්පරා කථාව පිළිබඳව පැරණි මුතුන් මිත්තන් ගේ මතකයේ විස්තරය යි.

විජය කුමාරයා ලංකාවේ රජ වී අභිෂේක ලැබීම පිණිස තමන් අසා දැක ඇති පරිදි තම රජපරපුරේ චාරිත්‍රය වශයෙන් ක්ෂත්‍රිය කන්‍යාවක් ගෙන්නා ගන්නා තුරු තම අභිෂේකය කල්දමා තිබේ. මහාවංශයේ කියවෙන්නේ ඒ පැරැන්නන් විසින් දිගටම පවත්වාගෙන ආ විස්තර කථාවයි. සිංහලයාගේ රාජපරම්පරාවේ විස්තරත් ඔවුන් දියුණු වූ ආකාරයත් ඔවුන්ට බුදු දහම ලැබුනු ආකාරයත් දිගටම පවත්වාගෙන ආ ග්‍රන්ථය සීහළට්ඨකථා මහාවංශය යි. සිංහලයෝ ඒ ක්‍රමයෙන් තමන්ගේ සියලු තොරතුරු සකස්කොට පවත්වාගෙන ඇවිත් තිබේ. චේතියවංසට්ඨ කථා, දීපවංශය, ථූපවංශය ආදියෙහිත් විස්තර වන්නේ පැරැන්නන් ගේ ස්මරණය යි. විශේෂයෙන් සිංහලයන් ගේ අටුවාව හෙවත් සීහළට්ඨ කථාව මහා විහාර සඟපරපුර සමග බැඳී තිබුනේය.

අනුරාධපුර මහා විහාරයෙන් වෙන් වී අභයගිරියට ගිය සඟ පිරිස නිතර ම කටයුතු කොට තිබෙන්නේ මහාවිහාරික භික්ෂූන් කෙරෙහි විරුද්ධ ආකල්පයෙනි. එනිසා ම අභයගිරිවාසී භික්ෂූන්ට ද තමන් ගේ ම පරම්පරා කථාවක් වෙන ම පවත්වාගෙන යන්ට ඕනෑ වී තිබේ. එහි ප්‍රතිඵලය වූයේ උත්තරවිහාරට්ඨ කථාව හෙවත් උත්තර විහාර මහාවංශය නමින් ඔවුන්ටත් තමන් ගේ ම ග්‍රන්ථයක් බිහිකරගැනීම යි.

සිංහල රාජවංශයේ ආරම්භක පුරුෂයා ලෙස සිංහබාහු රජ්ජුරුවන් ගේ පුත්‍ර වූ විජය කුමාරයා ගේ නම සඳහන් කොට තිබෙන්නේ ඒ රාජ වංශයේ ම පැරණි මුතුන් මිත්තෝ ය. විජය කුමාරයා ගේ පියා සිංහබාහු රජ්ජුරුවෝ ය. මව වනාහි ඒ සිංහබාහු රජ්ජුරුවන්ගේ ම නැගණිය වන සිංහසීවලී දේවිය ය. සිංහබාහු රජ්ජුරුවන් විසින් තමන් ගේ ම නුවරක් ඉදිකොට එයට සිංහපුරය යන නම තැබුවේය. ඔවුන් ගේ වංශය පටන් ගන්නේ එතැනින් ය. මෙය සිදුවූයේ ලංකාවේ නොව දඹදිව වංග ජනපදයට අයත් ලාට රටේ ය.

විජය කුමාරයා රජ වූයේ ලාට රටේ නොව එකල තම්බපණ්ණි නමින් හැඳින් වූ මේ ලංකාවේ ය. ඔවුන්ට අවශ්‍ය නම් තමන් ගේ රජපරපුරේ ආරම්භය ගැන වෙනත් සුපිරි කථාවක් මේ අලුතින් පැමිණි රටේ ගොතන්ට අවස්ථාව තිබුනි. නමුත් ඔවුන් එසේ නොකළේ මේ රටේ මුල්ම මනුෂ්‍ය ජනාවාසය ඉදිකළේ ඔවුන් නිසා ය. එනිසා ඔවුන්ට තමන්ගේ පරපුරේ කථාව පිළිබඳව අමුතුවෙන් වසන් කරන්ට දෙයක් නැත. සියල්ලෝ ම ඒ රජපරපුර ගැන දන්නා නිසා ය.

මහාවංශයේ මුලින් ම විස්තර වන්නේ ශාක්‍ය වංශය පිළිබඳ පරම්පරා කථාවයි. එහි ඔක්කාක රජ පරපුර පටන් ගන්නේ මහාසම්මත නමැති සම්භාවනීය රජ කෙනෙකුගෙනි. ඒ පරම්පරාව නොකඩවා පවිත්‍රව රැගෙන ආ බව පැරැන්නන් ගේ ශ්‍රැති පරම්පරාවෙන් දිගට ම ගෙනැවිත් තිබේ. ඒ අනුව මහාවංශයෙහි බුදුරජාණන් වහන්සේ ගේ පරම්පරාව ගැනත් විජය රජ්ජුරුවන් ගේ පරම්පරාවත් පෙන්වා දී තිබේ. එනම් බුදු සසුනෙහි ඉතිහාසයත් සිංහල රාජවංශයේ ඉතිහාසයත් ය.

මහාවංශය කියවගෙන යන විට ක්‍රමක්‍රමයෙන් ඔවුන්ගේ සම්භාවනීය ගුණය අඩුවෙමින් යන බව පෙනේ. දකුනු ඉන්දියාවෙන් වරින්වර පැමිණි ආක්‍රමණයන් සිංහලයා ගේ අභිවෘද්ධියට බලවත් ලෙස හානි පමුණුවා තිබේ. දොළොස්වන සියවසෙහි කාලිංගමාඝ නමැති බ්‍රාහ්මණවංශික මන්ත්‍රධාරී රජ්ජුරුවන් ගේ ආක්‍රමණයෙන් ඔහු යටතට පත් සිංහල රටවැසියාත් බුදුදහමත් විසි එක් අවුරුද්දක් ම නැත්තට නැතිවෙන තුරු බැට කෑවේය. එයින් පසු මේ දක්වා සිංහලයන්ට පෙර අයුරින් නැගී සිටින්ට නොහැකි විය. පසුකාලීනව සිංහල රාජවංශයට බලපෑවේ උතුරු ඉන්දියානු බලය නොව දකුණු ඉන්දියාවේ හින්දු ආගමෙන් මෙහෙයවන ලද රජපරම්පරාවල් වල ආනුභාවයයි.

පහළොස්වන සියවසේ සිටි දිගින් දිගට පැමිණි යුරෝපීය ආක්‍රමණ නිසා සිංහලයා තවත් බෙලහීන බවට පත්වුනා. අන්තිමේදී සිංහල රාජපරම්පරාව ගතිගුණ වලිනුත් හොඳට ම දුර්වල වුනා. එකිනෙකා කුලල් කා ගත්තා. ඉංග්‍රීසීන් යටතට මේ රට පත්වුනා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන් ජීවග්‍රාහයෙන් අල්ලාගත් පසු එවකට ආණ්ඩුකාරයාව සිටි රොබට් බ්‍රවුන්රිග් නමැත්තා ඒ අවස්ථාවේ ක්‍රියාකොට තිබෙන්නේ මෙසේය.

“සිංහල රජු අල්ලාගන්නා ලදැයි යන ප්‍රවෘත්තිය ලැබෙන විට බ්‍රවුන්රිග් උතුමාණන් වහන්සේ යුද්ධ මුලදෑනින් ස්වල්ප දෙනෙකුත් සමග (1815) පෙබරවාරි මස දහනම වෙනි දින රාත්‍රී භෝජනය අනුභව කරමින් සිටියේය. යථෝක්ත ආරංචිය ලැබුනු කෙණෙහි ම උතුමාණන් වහන්සේ මේසයෙන් නැගිට සතුටු කඳුළු වගුරුවමින් එහි සිටි සියලු දෙනාට අතට අත දෙමින් ‘යුරෝපීය ජාතීන් තුන් වර්ගයකට ශත වර්ෂ තුනක් මුළුල්ලේ උත්සාහ කොටත් සාර්ථක කරගත නොහැකි කෘත්‍යයක් අප විසින් අද ඉෂ්ට කරගන්නා ලද්දේය. ඒ සම්බන්ධව ආධාර කළා තමුන්නාන්සේලාට මාගේ අවංක ස්තුතිය ප්‍රදාන කරමැයි’ කීවේය.

(මහාවංශය සිංහල අනුවාදය – පිටු අංක 584)

එතකොට යුරෝපීය ජාතිකයන් ශත වර්ෂ තුනක් මුළුල්ලේ උත්සාහ කොට තිබෙන්නේ කුමටද? සිංහල රාජවංශය නැති කිරීමට යි. බුදු සසුන නැති කිරීමට යි. ඔවුන් දිගින් දිගට ම තමන්ගේ උපායික මාර්ගයන් සිංහලයන් ලවා ම ක්‍රියාත්මක කොට දැන් ඉතාම අසීරු තත්වයකට පත්ව තිබේ. පැරණි සිංහලයන් සතුව තිබූ ශිල්ප ශාස්ත්‍ර ක්‍රම කෘෂිකාර්මික ක්‍රම වාරිමාර්ග ක්‍රම සියල්ල පිළිබඳ වූ ඤාණයෙන් දැන් සිංහලයෝ තොර වී සිටිති. ඔවුන්ට එයින් වැඩක් ද නැත. ඔවුහු මහාවංශයට ද සිනාසෙති. එය ප්‍රලාපයකැයි අපහාස කරති. මේ වන විට ලංකාව ම ණය බරින් මිරිකී ගොස් තිබේ. රෝග පීඩා වලින් ආතුර වී තිබේ. ශ්‍රද්ධාවෙන් හීන වී සිටියි. උඩඟු කමින් නන් දොඩවමින් සිටියි. සිංහලයන් ගේ අනාගතය එතරම් දුරකට ගෙන යා හැකි වටපිටාවක් සපයන බවක් නොපෙනේ.

මෙම සරල සිංහල අනුවාදය උදෙසා සහය කරගත්තේ අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මාහිමියන් වහන්සේ සහ බටුවන්තුඩාවේ පඬිතුමා විසින් සකස් කරන ලද මහාවංශයත්, අතිපූජ්‍ය අකුරටියේ අමරවංශ නාහිමියන් සහ හේමචන්ද්‍ර දිසානායක පඬිතුමන් විසින් අනුවාදිත වංසත්ථප්පකාසිනියත්, මහාවංශ ගීතයත් ය. එමෙන් ම මහාවංශයේ සරල අනුවාදයන් රාශියක් තිබෙන බව අපට දකින්ට ලැබිණි. මහාවංශය නමැති ශ්‍රේෂ්ඨ ඉතිහාස කථාව සිංහල ජනතාවට කියවන්නට සැලැස්වීම උදෙසා ඒ ඒ පඬිවරුන් ගත් වෑයම සදා ප්‍රශංසනීය ය.

මහාවංශයෙහි මුල් කොටසෙහි තිබෙන්නේ පරිච්ඡේද තිස් හතකි. අප විසින් සරල සිංහලෙන් අනුවාදිතව තිබෙන්නේ එම කොටස පමණි. මෙම මහාවංශ කියවීමේදි ඇතැම්විට ශ්‍රද්ධාවෙන් අපගේ සිත පිනායයි. සිත පහන් වෙයි. එමෙන් ම ඇතැම් රජවරුන් විසින් කරන ලද නොයෙකුත් ක්‍රියාවන් ද ඇතැම්විට සිදුවන ලද කුමන්ත්‍රණයන් ද විශේෂයෙන් සංඝමිත්‍ර නම් සොළී භික්ෂුවක් මහසෙන් රජ්ජුරුවන් ගේ ද සහය ඇතිව මහාවිහාරය විනාශ කළ අයුරු කියවන විට කෙලෙස් වල තියෙන භයානක ස්වභාවයත් සංසාරයෙහි තිබෙන නීච ස්වභාවයත් ධර්මයෙන් තොර වූ අසත්පුරුෂ ඇසුරේ භයානකකමත් නිතැතින් ම වැටහෙයි. එවිට අප තුළ ධර්ම සංවේගයක් හටගනී. මහාවංශ කර්තෘවර මහානාම මාහිමියන් වහන්සේ අපට යෝජනා කරන පරිදි ඒ ඒ තැන් වලදී ප්‍රසාදයත් සංවේගයත් ඇති කරගත මැනව.

මහානාම මාහිමියන් වහන්සේ විසින් අපගේ ඉතිහාසය පිළිබඳ අනර්ඝ අප්‍රකට තොරතුරු ඉතාම අපක්ෂපාතීව ගාථා බන්ධනයන් මගින් සකසා මහාවංශය ලිවීමෙන් අපගේ ජාතියට කරන ලද අනුග්‍රහය වචනයෙන් වර්ණනා කොට අවසන් නොකළ හැකි දෙයකි.

අප ගේ භාග්‍යවතුන් වහන්සේ මේ ලංකාද්වීපයට වැඩි අනුහසින්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ අනුහසින්, ස්වර්ණමාලී මහාසෑයේ වැඩ සිටින ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා ගේ අනුහසින් සිංහල ජාතියත් බුදු සසුනත් ලංකාද්වීපයෙහි චිරාත් කාලයක් සුරැකේවා!

මෙයට,
ගෞතම බුදු සසුන තුළ
මෙත් සිතින්,
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ශ්‍රී බු.ව. 2559 ක් වූ බක් මස 07 දින (2016.04.07)